ඉන්දියාවේ කාටවත් නැති ගටක් තියෙන මොහොමඩ් සිරාජ්
ඉන්දීය කණ්ඩායමේ දීර්ඝ ටෙස්ට් තරග 5 කින් යුත් එංගලන්ත සංචාරයේ අවසන් දිනය
Admin User
Author
මේ සටහනින් අද කතා කරන්නේ මෙවර තරගාවලිය පුරා ඉන්දීය වේග පන්දුවේ නැංගුරම බවට පත් වූ ක්‍රීඩකයා සම්බන්ධයෙන්. ඔහු නමින් ජැස්ප්‍රිට් බුම්රා නෙමෙයි මොහොමඩ් සිරාජ්!
ඉන්දීය වේග පන්දු යවන බලඇණියේ ටෙස්ට් තරග 5 ම ක්‍රීඩා කරපු එකම වේග පන්දු යවන්නා වුණේ සිරාජ්. ඔහු මේ වෙද්දී එංගලන්තයේ ජොෂ් ටොන්ග් එක්ක තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා විදිහට සම තැන රැඳිලා ඉන්නවා. බොහෝ දුරට සිරාජ් තව එක් කඩුල්ලක් එක්ක තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටත් පත් වේවි.
බුම්රා ක්‍රීඩා නොකරපු තරග දෙකේම ඉන්දීය වේග පන්දුවේ ප්‍රධාන චරිතය බවට පත් වෙන්නත් ඔහුට හැකියාව ලැබුණා. ඒ විතරක්ම නෙමෙයි සිරාජ් සෑහෙන හොඳට තමන්ගේ ස්කිල් දියුණු කරගෙන තියෙනවා. පස්වන තරගය අතරතුර දිනේෂ් කාර්තික් එක්ක තිබුණ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කරපුවත් එක්ක ඒක හොඳට හිතාගන්න පුළුවන්.
දෙවනි කාරණය නම් සිරාජ්ගේ ශාරීරික යෝග්‍යතාවය. සිව්වෙනි තරගයේ එංගලන්තය ලකුණු 600 ඉක්මවා යද්දී යම් වෙහෙසක් සිරාජ්ගෙන් දකින්න ලැබුණත් අනිත් සෑම අවස්ථාවකදීම ඔහු සුපුරුදු රිද්මයෙන් පන්දු යැව්වා.
ජැස්ප්‍රිට් බුම්රා සිව්වන තරගයට එද්දී 140 ට උඩින් එක පන්දුවක් යවාගන්නෙත් හරිම අමාරුවෙන්. බුම්රා ගේ ශේප් එක ඒ වෙද්දී සෑහෙන දුරකට බිඳ වැටිලා තිබුණේ.
නමුත් 5 වෙනි තරගයේදීත් මම මොහොමඩ් සිරාජ් 140 ට උඩ බෝල් කරනවා දැක්කා. වේග පන්දු යවන බලඇණියේ සම්පූර්ණ වගකීම තමන්ගේ කරට ගන්නවා දැක්කා. 5 වෙනි තරගයේ ඉන්දියාව සතුව ඉන්නේ වේග පන්දු යවන්නන් 3 දෙනයි. එතන ඔහු එකදිගට සෑහෙන පන්දුවාර ප්‍රමාණයක් යවනවා.
මෙ වෙද්දී ඔහු තරගාවලිය තුළ ක්‍රියාත්මක කරලා තියෙන සමස්ථ පන්දුවාර ගණන 159.1 ක්. මීට අමතරව සිරාජ් ට අනිවාර්යයෙන්ම පුහුණු දැල් තුලත් පන්දු යවන්න සිද්ධ වෙනවා. ඉතින් උක්ත කාලය තුළ පන්දුවාර 300 කට එහා ඔහු පන්දු යවලා තියෙනවා.
නමුත් තවමත් තමන්ගේ රිද්මය සහ වගකීම කියන දේ සිරාජ් අතාරින්නෙ නෑ. 5 වන තරගයේ එංගලන්ත පළමු ඉනිම ඉන්දියාවට වඩා සෑහෙන ඉදිරියට යන බවක් එක වෙලාවක පෙනෙන්නට තිබුණා.
නමුත් නායක ඔලී පෝප්, ජෝ රූට් සහ ජේකබ් බෙතල් ව ඉක්මනින් දවා ගනිමින් නැවතත් තරගය ඉන්දියාව පැත්තට ගේන්නේ මොහොමඩ් සිරාජ්. ඒ විතරක්ම නෙමෙයි සිරාජ් අවසන් කඩුල්ල ලෙසින් හැරී බෘක් වත් දවා ගත්තා.
ටෙස්ට් තරග 5 ක් එකදිගට ක්‍රීඩා කරමින් එකම රිද්මයක පන්දු යැවීම කියන්නේ බොහොම අපහසු කාරණයක්. මේ විදිහට එකම රිද්මයක සහ ශාරීරික යෝග්‍යතාවය එකම විදිහට පවත්වා ගන්නත් ඉන්දියාවේ දැන් ඉන්න කිසිම වේග පන්දු යවන්නෙක් ට හැකියාව ලැබෙන්නේ නෑ.
දිනේෂ් කාර්තික් එක්ක තිබුණ සම්මුඛ සාකච්ඡාවේදී ම සිරාජ් කියනවා තමන් ඉන්දියාවට ක්‍රීඩා කරන එකට මොන තරම් ආදරෙයිද කියලා. ඒ වගේම ඉන්දීය ජර්සිය ඇඳගන්න හැම අවස්ථාවකදීම තමන්ට දැනෙන හැඟීම ගැනත් සිරාජ් කියනවා. සිංහලෙන් කියනවා නම් බොක්කෙන් ම රටට ගහන්න සිරාජ් ට පුළුවන්.
සිරාජ් කියන්නේ බොහෝ දෙනෙක් ට පිටිය ඇතුළෙදි දිරවන්නේ නැති චරිතයක්. අනවශ්‍ය විදිහට ක්‍රීඩකයන් සමග පැටලෙන්න යාම සහ ඔහුගේ හැසිරීමේ ගැටලු එයට ප්‍රධාන හේතු වෙනවා.
හැබැයි මේ තරගාවලිය ඇතුළේ මොහොමඩ් සිරාජ් මියගිය පාපන්දු ක්‍රීඩක දියේගෝ ජෝටා වෙනුවෙන් කඩුල්ලක් දවා ගත් පසු උපහාර දැක්වූවා. එමෙන්ම මියගිය ග්‍රැහැම් තෝප් වෙනුවෙන් සංවිධානය වුණ පුණ්‍යාධාර වැඩසටහන ප්‍රවර්ධනය කරන්න ඔහු තෝප් වෙනුවෙන් සකස් කළ හිස් පළඳනාව සමග පන්දු යැව්වා.
මේ වෙද්දී ඉන්දීය කණ්ඩායමේ ඉන්න දක්ෂතම වේග පන්දු යවන්නා ජැස්ප්‍රිට් බුම්රා වෙන්න ඇති, නමුත් ඉන්දීය කණ්ඩායමේ ඉන්න වැදගත්ම වේග පන්දු යවන්නා වෙන්නේ මොහොමඩ් සිරාජ්.