News October 18, 2025 • 1 month ago

රෝමයේ දෙවැනි වහල් කැරැල්ලේ කතාව

සල්වියස් සහ ඇතීනියන් කියන වහල් සෙන්පතියන් දෙන්නා තීරණය කෙරුවා රෝමය එක්ක යුද්ධ කරන්න. මේ දෙන්නාගෙන් සල්වියස් තමයි සිසිලි දූපතේ හිටපු වහල්ලුන්ගෙ රජා.

A

Admin User

Author

රෝමයේ දෙවැනි වහල් කැරැල්ලේ කතාව
සල්වියස් සහ ඇතීනියන් කියන වහල් සෙන්පතියන් දෙන්නා තීරණය කෙරුවා රෝමය එක්ක යුද්ධ කරන්න. මේ දෙන්නාගෙන් සල්වියස් තමයි සිසිලි දූපතේ හිටපු වහල්ලුන්ගෙ රජා. ඇතීනියන් තමයි වහල්ලුන්ගෙ ප්‍රධාන සෙන්පතියා. සිසිලිය කියන්නෙ රෝමයට අයිති පළාතක්. දූපතක්. මේ දූපතේ දුක් විඳිමින් හිටපු වහල්ලු එකතුවෙලා තමන්ගෙ ම පාලනයක් පිහිටෙව්වා.

එහෙම කෙරුවෙ ඒ දූපත පාලනය කරපු රෝම ආණ්ඩුකාරයා එක්ක සටන් කරලා. හැබැයි වැඩේ ලේසි නෑ. මොකද රෝමය බොහොම ඉක්මනින් මේ වහල් පාලනය අවසන් කරන්න විසාල හමුදාවක් සිසිලි දූපතට එවන්න සූදානම් උනා.

(මේ ලියන්නෙ රෝම ඉතිහාසයේ සිදු වෙච්ච දෙවැනි වහල් කැරැල්ලේ කතාව. අද තමයි ඒකෙ අවසන් කොටස. ඊයෙ ලිව්වා පළමුවැනි කොටස)

මේ හැමදේම සිද්ධ උනේ අදින් අවුරුදු 2129කට උඩදි. ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 103 සහ ආසන්න අවුරුදුවලදි.

ලුෂස් ලූකලස් කියන අලුත් ආණ්ඩුකාරයා රෝමයේ ඉඳන් සිසිලියට ආවෙ දාහත්දහසක සේනාංකයක් අරන්. මීට කලින් හිටපු ආණ්ඩුකාරයාට ඒ තරම් යුධ සැපයුමක් රෝමයෙන් දීලා තිබුණෙ නෑ. ඒ හින්දා මේ අලුත් රෝම නියෝජිතයා එක්ක කරන්න තියෙන්නෙ ‘මියෙම්වා රැකෙම්වා‘ සටනක් බව වහල් නායකයින් තේරුම්ගත්තා. සටනට අණ දෙන්න ඇතීනියන් තීරණය කෙරුවා. මොකද රෝමය එක්ක හැප්පෙමු ය කියන තීරණය ගත්තෙ එයා.

දෙගොල්ලො සිසිලි දූපතේ කඳුකරයේ දි මුහුණට මුහුණ හම්බ උනා. එක පැත්තකින් කන්ද නැඟගෙන ආවෙ ලුෂස් ලූකලස්ගෙ රෝම සොල්දාදුවො. එයාලා හිටියෙ තමන්ගෙ රෝම වහල්ලු වෙනම පාලනයක් පිහිටුවාපු එක ගැන කේන්තියෙන්.

අනෙක් පැත්තෙන් කන්ද නැග්ගෙ ඇතීනියන් ප්‍රමුඛ වහල් සේනාංකය. මේ අය තමන් නිදහස් මිනිස්සු බව එයාලාම නිවේදනය කරගෙනයි හිටියෙ.

ඇතීනියන් ඉදිරියෙන් ගියා. අශ්වාරෝහක සේනාවට අණ දුන්නා. සිසිලි කඳුකරය ගැන ඇතීනියන්ට තිබුණු දැනුමත්, වහල් සේනාංකවල එකමුතුවත් ඉදිරියේ රෝම සොල්දාදුවො පසු බැස්සා. කඳුකරයෙන් පහලට තිබුණු තැනිතලා බිම් දිගේ රෝම සේනාංක විසිරුණා. සිසිලිය තුළ යුධ වැදීම රෝම සොල්දාදුවන්ට අලුත් අත්දැකීමක් උනා.

ඇතීනියන් දිගින් දිගට ම පහර දුන්නා. අණ දුන්නා. අසු මෙහෙයෙව්වා. කඳුකරය පුරා අණසක පැතිරෙව්වා. රෝමයට ගහන්න පුලුවනි‘යි ඇතීනියන් ගත් තීරණය හරියි කියලා වහල් සේනාංක විශ්වාස කෙරුවා.

එකපාර ම කඳුකරයේ තැනිතලා බිමට ඉහළින් දැවැන්ත හෙල්ලයක් පා වෙලා ආවා. ඒක ආවෙ හුළං ධාරා කපාගෙන සෑහෙන වේගයකින්. රෝමයේ හිටපු දක්ෂම හෙල්ල විසි කරන්නෙකු විසින් මුදාහැරපු හෙල්ලයක් ඒක. මේ දැවැන්ත හෙල්ල ඉලක්කයට ම ආවා. අසු පිටේ හිටපු ඇතීනියන්ගෙ කලවා පසාරු කරගෙන හෙල්ල ඇතුළු උනා.

“ඩහ්ග්“ හෙල්ල ඇතීනියන්ට වැදුණා.

ඇතීනියන් අසු පිටින් වැටුණා. අශ්වයා තැනිතලා බිමේ පෙරලුණා.

“ඇතීනියන් වැටුණා“ වහල්ලු කෑ ගැහුවා. ඒ හඬ කඳුකරය පුරාත්, තැනිතලාවේත් විහිඳුණා.

මේක වහල් හමුදාවට දරාගන්න බැරි දෙයක්. මොකද ඒ හැමෝම යුද්ධයට ආවෙ ඇතීනියන් මත විශ්වාසය තියලා. ඇතීනියන් තමයි වහල් හමුදාවට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවෙ. තවදුරටත් ඇතීනියන් තමන් එක්ක නෑ කියන හැඟීම එසැණින් වහල් හමුදාවට දැනුණා. වහල් සේනාංකය මානසිකව වැටුණා. හැමෝම හිතුවා ඇතීනියන් මැරී වැටුණු බව. යුද්ධයක දී ඕනෑම දේ තමයි ආත්ම විශ්වාසය. ඒක බිඳුණා. එදා උදෑසන වහල්ලු හොඳින් සටන් කරමිනුයි හිටියෙ. ඒත් රාත්‍රිය වෙද්දි වහල්ලු විසිදාහක් ඒ බිමේ අවසන් ගමන් ගියා. ඇතීනියන්ගෙ නායකත්වය නැතිව වහල් හමුදාව එකා පිට එකා වැටුණා.

මධ්‍යම රාත්‍රිය එලැඹුණා. වහල්ලු කීප දෙනෙක් ඇතීනියන්ගෙ දේහය ආරක්ෂා සහිත තැනකට ගෙනාවා. ඔවුන්ට රාත්‍රියේ කෙඳිරිලි හඬක් ඇහුණා.

“ඇතීනියන් මැරිලා නෑ“ උන් කෑ ගැහුවා. පිරිස ඇතීනියන් වටා වටවුනා.

වහල් පාලනය යටතේ තිබුණු ට්‍රයොකැලා නගරය ලූකලස් විසින් අල්ලාගත්තා. නැවත රෝම පාලනය පිහිටෙව්වා. ඒත් නගරය සම්පූර්ණයෙන් ගිනි තිබ්බා.

මේ විනාසය අතරතුර සල්වියස් අවසන් ගමන් ගියා. ඒ කියන්නෙ වහල්ලු විසින් පිහිටවනු ලැබූ අලුත් පාලනයේ රජතුමා මියැදුණා. වහල්ලු ට්‍රයොකැලා නගරය අත්හැරලා සිසිලි දූපතේ බටහිර පැත්තට පසු බැස්සා. අලුත් රෝම ආණ්ඩුකාරයාත් ට්‍රයොකැලා නගරය අත් හැරලා නැගෙනහිර පැත්තට ගියා. මොකද රොමන් ආණ්ඩුකාරවරු දිගටම සිසිලිය පාලනය කෙරුවෙ නැගෙනහිර ඉඳන්.

මේ අතරතුර රෝමය දෙවැනි පාරටත් ආණ්ඩුකාරයාව මාරු කෙරුවා. ඒ කියන්නෙ ලූකලස්වත් අයින් කෙරුවා. අලුත් කෙනෙක් එව්වා. ඒකටත් හේතුවක් තිබුණා. ඇතීනියන් ඇතුළු වහල්ලුන්ව ඉවරයක් ම කරන්න ලූකලස්ට බැරි වීම තමයි හේතුව.

අලුත් සෙන්පතියා තමයි ‘මානියස් (අ)ක්වීලියෝ‘
(අ-ක්වී-ලියෝ)

(අ)ක්වීලියෝ කියන්නෙ ඒ වෙද්දි මධ්‍යධරණී කලාපය පුරා බොහොම ප්‍රසිද්ධ හාදයෙක්. දක්ෂ සෙන්පතියෙක්. කැරැල්ලක් මර්ධනය කරන්න කියාපු මනුස්සයෙක්.

මේ අලුත් සෙන්පතියා සිසිලියට එන අතරතුර කාලයේ දි ඇතීනියන් සුව උනා. සල්වියස් මියැදුණු හින්දා ඇතීනියන් අලුත් රජා විදිහට පත් උනා. අක්වීලියෝ එන්න කලින් ඇතීනියන් සිසිලියේ හිටපු රෝම සොල්දාදුවන්ට ආයෙත් පහර දුන්නා. මුලු සිසිලියේම බලය ලබාගත්තා. සිසිලියේ වහල් පාලනය නැවත ස්ථාපිත උනා.

(අ)ක්වීලියෝගෙ සේනාංක ඉක්මනින් ම සිසිලියට ආවා. වහල් හමුදාව ලෑස්ති උනා මේ අය එක්ක සටනට. ඇතීනියන් රෝම හමුදාවට පණිවුඩයක් යැව්වා.

“අක්වීලියෝ යි ඇතීනියනුයි මුහුණට මුහුණ සටනක් කරන්නයි යන්නෙ“ වහල්ලු කතා උනා. ඒක ඇත්ත. මේ සේනාංක දෙක ගැටෙන වෙලාවෙදි සෙන්පතියො දෙන්නා මුහුණට මුහුණ සටනක් කරන්න එකඟ උනා.

සේනාංක ගැටුණා. යුද්ධය පටන් ගත්තා. අසිපත් එකට ගැටුණා. හෙලි විසි උනා. ඊතල විසිරුණා. ගල් පෙරැළුණා. දුහුවිල්ලෙන් අහස වැහුණා.

අශ්වයින් දෙන්නෙක් පිටේ නැඟිලා (අ)ක්වීලියෝ සහ ඇතීනියන් දූවිල්ල කපාගෙන එකිනෙකා වෙතට ආවා. අවට පරිසරය දූවිල්ලෙන් වැහිලා. අසිපත් ගැටෙන සද්දය විතරයි හැම තැනින් ම ඇහුණෙ. සටන අවසාන වෙද්දි ඇතීනියන් බිම වැටුණා. (අ)ක්වීලියෝ එයාගෙ අසිපතින් ඇතීනියන්ව අවසන් ගමන් යැව්වා.

වහල්ලු දැක්කා තමන්ගෙ රජතුමා මියැදුණු විදිහ. ඔවුන් ආයුධ බාර දීලා යටත් උනා. යුද්ධය ඉක්මනින් ම අවසාන උනා. සිසිලිය නිස්කලංක උනා. හැබැයි නිස්කලංක උනේ සිසිලිය නිදහස් උනු හින්දා නෙවෙයි. තව තවත් මර්දනය උනු හින්දා.

සිසිලියේ හිටපු වහල්ලුන්ගෙන් පිරිසක් වහාම රෝමයට යැව්වා. නැව්වල නැග්ගුවා. එහෙම යැව්වෙ රෝමයට විනෝදාස්වාදය සපයන්න. ඒ වහල්ලුන්ට තිබුණෙ කැලයෙන් අල්ලාගත් සත්තු එක්ක ප්‍රසිද්ධ ක්‍රීඩාංගණවල සටන් කරන්න. මේ සටන් බලන්න රෝමයේ ධනවතුන් එක්රැස් උනා.

හැබැයි සිසිලියෙන් ආපු වහල්ලු සත්තුත් එක්ක සටන් කරනවා වෙනුවට පුදුම සහගත තීරණයක් ගත්තා. උන් හැමෝම පිට්ටනියට එකතු උනා. අසිපත් එකිනෙකාට එල්ල කරගත්තා. වහල්ලු තමන්ගෙම අයව මරා දැම්මා.

අන්තිමට ඉතුරු වෙච්ච කෙනා තමන්ගෙ අසිපත තමන් දිහාට හරවාගත්තා. ප්‍රේක්ෂකාගාරය දිහා බලලා හිනා උනා. එයාගෙ කඩුව හෙමින් එයාගෙ උරපතට ඇතුළු උනා. එයා වහල් භාවයෙන් මිදුණා.

#madyadharaniකතාව

(රෝමයේ දෙවැනි වහල් කැරැල්ලේ කතාව අවසාන යි. මේ ලිපි මාලාව දිගටම මගේ ප්‍රොෆයිල් එකේ යනවා. ක්ලියෝපැට්රා නවකතාව ඇතුළු මගේ ඉදිරි පොත් ගැන කතා කරන්න වෙනම පේජ් එකක් හැදුවා. කැමති අය ඒකට එකතු වෙන්න. මේ තමයි පේජ් එක - Cleo Reads .
මේ පේජ් එකෙන් පොත් සහ අනෙකුත් සාහිත්‍ය විස්තර කියන්නම්. ඒවාත් මගෙ ප්‍රොෆයිල් එකෙන් දැම්මොත් මධ්‍යධරණී සහ මහාවංසකතාව ලිපි ටික යට යනවා.)

සටහන: ©️ Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬