News September 9, 2025 • 3 months ago

ජීවිතයට මග කියූ භරත් කෝකිලාවිය....🌷

යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා වූ ඉන්දියානු අරගලයේ දී සක්‍රිය ව උර උන් අය බොහෝය. ස්වරාජ්‍යය සංකල්පය වෙනුවෙන් සහය දැක්වූහ.

A

Admin User

Author

ජීවිතයට මග කියූ භරත් කෝකිලාවිය....🌷
ජීවිතයට මග කියූ භරත් කෝකිලාවිය....🌷

යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා වූ ඉන්දියානු අරගලයේ දී සක්‍රිය ව උර උන් අය බොහෝය. ස්වරාජ්‍යය සංකල්පය වෙනුවෙන් සහය දැක්වූහ.

මා අද වියමන් කරන්නේ අභීත මෙන්ම කාව්‍යය සංස්කෘතිය තුළ ද කොදු නාරටිය ඇති ගැහැණියක් ගැනයි...

ඇය නමින් " සරෝජිනී නායිදු " වන්නීය.
ඇයට ඕනෑ වූයේ කාන්තා විමුක්තිය සහ අධිරාජ්‍ය විරෝධී අරගලය සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමටයි..

මේ සියල්ලටම වඩා ඈ ඔසවා තිබුණේ ශ්‍රේෂ්ඨ ඉන්දියානු කිවිඳියක ලෙසය. කිවිඳියක ලෙස ඈ අත්පත් කොට ගත් කීර්තිය මහත් ය.
ඈ හැඳින් වූයේ "ඉන්දියාවේ නයිටිංගේල්'" නොහොත් "භාරත් කෝකිලා "යන නමින්ය.

ලොවක් ඇයට ආදරය කරන්නට පත් වන්නේ එහෙයිනි...

කවි ලියන්නන් සහ කවිය අතර ඇති දර්ශනය යනු එකිනෙකට බැඳී ඇති දම්වැලක පුරුක් ය. හෝදාපාලුව ලියා යෑම නොව ,හුළං කෝඩයට හසුකර ලිවීම නොව, කවියක ඇති රස හරය ගැන ගෞරවය අවැසිමය ලිවීමේදී. කවිය කියවීමේදී එහි සැඟව ඇති කවියාගේ දෘෂ්ඨිය මැනවින් විද්‍යමාන වේ. එයයි කවියේ සහ කවියාගේ පැවැත්ම.
සරෝජිනී මේ සියල්ල මත හිඳින්නීය .ඒ ඈ සතු දේශපාලනික පරිඥානය පමණක් නොවේ ඈ සමාජීය ව්‍යුහය පිළිබඳ මනා කියවීමක් ඇත්තියකි. ඒ සියල්ලටම වඩා ඇයට සෘජු ප්‍රතිපත්ති ගරුක කොන්දක් ඇත්තීය ...

මේ සියල්ල ඇගේ යම් ඌණපූරණයක් වෙත් ද එය පියවන්නේම ය. ඈ අරගලයෙ පෙරමුන ගත්තේ ජනතාව වෙනුවෙනි. ඈට පුද්ගල පරමාර්ථ කිසිවක් නොවුනි ..
ඉතිං ඈ ශ්‍රේෂ්ට නොවන්නේ ද?

හයිද්‍රාබාද්හි බෙංගාලි පවුලක උපත ලද්දීය.
සරෝජනී නායිදුගේ පියා හයිද්‍රාබාද්හි නිසාම් විද්‍යාලයේ විදුහල්පති වූ බෙංගාලි බ්‍රාහ්මණවංශිකයකු වූ අගෝරනාත් චට්ටෝපාධ්‍යාය වූයේය.. ඇගේ මව බරඩා සුන්දරී දේවි චට්ටෝපාධ්‍යාය කිවිඳියක වූ අතර බෙංගාලි බසින් කාව්‍යකරණයේ නිතර වූ කාන්තාවකි..
ඈ සියලු ප්‍රතිභාවන් මිටින් ගෙන සපැමිණි භාග්‍යවන්තියක් වන්නීය.

ඉන්දියානු කවි සංස්කෘතිය තුල ශබ්ද රසය,ප්‍රසාද ගුණය, රිද්මය (වෘත්ත) හා චිත්ත රෑප මැවීමේ අති දක්ශ කිවිඳියකි සරෝජිනි නායිදු .
මතු සඳහන් ව ඇත්තේ ඈ ලියූ රමණීය කවියකි..

The Poet To Death
කවියාගේ මරණ මංචකය ......🌷

මරණය
නවතිනුව
නොහැකිය මට මියෙන්නට
මගේ මේ ජීවිත ඉම
මල් පිපී
ලෙළ දෙන
වසත් සමයක් සේම මිහිරිය.

අහා,
මා පසුකොට ආ
ඒ සොඳුරු යව්වන විය
එහි සරු සාර අතු ඉති
පවනෙහි සසැලෙමින
නංවනා ඒ උදාරම් දෝංකාරය
අතු පතර මතුවන
මියුරු වූ කුරුළු කූජන
තවමත් මම අසා ඉමි
ඉතාමත් වූ සතොසින,

මරණය,
නවතිනුව,
නෙළා ගන්නට ඇත මට
කෙමෙන් විකසිත වනු
තව බෝ සිහින සුපැතුම්
මගේ මේ විසල් සිත තුළ
තව බොහෝ ඉඩකඩ ඇත
රොක් කරන්නට සතුට පොදි බැඳ
ම'හද රැව්දෙන
තවම නොගැයූ
කව් ගී අපමණක් වෙත,
මසිත් පත්ලෙහි කඳුළු උල්පත
තවම හිස් කොට අහවරව නැත.

නවතිනුව මරණය
ජීවිතය පුරවන්නට
මට තව කලක් අවැසිය
මේ පෘථිවි තලයද
අර හඬන හිනැහෙන අහස ද
අරා වැජඹෙන
ප්‍රේමයද- ශෝකයද
ඇති තරම්
ඇති තරම් විඳින්නට
මට තව කලක් අවැසිය.

( සුනිලා විජේසිංහ කිවිඳියගේ රමණීය පරිවර්තනයකි.The poet To Death සරෝජිනි නායිදු ගේ කවියේ)

ඇගේ හදවත පුරා ඇති රම්‍යතාව කෙතරම් ද? ඒ හදවත සුවිසල් නොවෙද ? රිදිමයානු කූල සහ අර්ථපූර්ණ කව් රසයෙහි අප තවරන්නීය..ඈ තුළ ඇති මුදු ගැහැණිය ඉස් මතුව ආයේය .එය අපූර්වය. මනරම් ය.

ඈ ලියූ කාව්‍යයන් අතර සම්භාවනවට පත් වු කාව්‍යය
01. The Golden Threshold.(1905)
02. The broken wing.(1912)
03. The brid of tiem.(1917)
04. Sceptered flute (1943)
නම් වීය.

මේ සියල්ල අතර ලාංකේය ගීතයට පෙම්බැඳි වූවන් අතර කතා බහටත් ආදරයටත් පාත්‍ර වූ ගීතයක් ඇත්තේය.

අපේ මහ කවි මහගම සේකරයන් විදෙස් කවීන් සහ කිවිඳියන් ගේ රචනා ඇසුරු කරමින් ලියූ ගී කිහිපයක් ද වේ.

එදා සිට අද තෙක් රසික ප්‍රජාව අතර මන බඳිනා පබැඳුමකි
ගීතය .
මේ අතර එය සුවිශේෂීය.

එය සරෝජිනී නායිදු ගේ රචනයක් ඇසුරෙන් නිමැවුණකි. එය පදානුපදික ව මෙන් කළ අනුවර්තනයක් සේ සැලකිය හැකිය

පණ්ඩිත් අමරදේවයන් එය රමණීයත්වය තවරා ගයන්නේය.

https://youtu.be/LzbFiQNOmwg?si=MhB_x6co-znmLnxn

අප මහා කවියා නායිදු කිවිඳියගේ කවියේ අපූර්වතා මෙන්ම රුව ගුණ නොනසා රමණීයත්වය තවරමින් අනුවර්තනය කරන්නේය..

මේ දෙදෙනාම කවි කලාවේ දිග් විජය කළ අය වේ.එහෙයිනි අවසන් ඵලය අමයුරු වූයේ..

"සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ සන්තෝසෙන්
ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුන කුළුඳුල් දුවටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

සරෝජනී නායිදු කිවිඳිය සිය රචනය ලියා ඇත්තේ "උභය භාෂාලංකාරය" නම් වූ අලංකාරෝක්තිය යොදා ගනිමිනි. එනම් දෙදෙනෙකු හෝ දෙ පිරිසක් අතර ඇතිවන සංවාදයක ස්වරූපයෙනි.එය වඩාත් ප්‍රකට වන පරිදි ගීතයේ දී සේකර එකී අලංකාරය ම යොදා ගනී.
එනම් ප්‍රශ්න නගන්නා සහ පිළිතුරු දෙන්නන් වශයෙනි.

නායිදු කිවිඳිය, සළුව අලුත උපන් බිළිඳුට වියන්නකි. ඒ වන පිළිහුඩුවන් ගේ පියාපතෙහි නිල් පාටිනි.
සේකර සළුව, ඊයේ ඉපදුනු කුළුඳුල් දුවට වියන අතර, එහි පැහැය මාලගිරා තටුසේම රුවින් යුක්තය.

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ

හැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිහෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දුව දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

සරෝජිනී නායිදු වියන්නී විසිතුරු දුහුල් සළුවකි.
ඒ දඹවන් සහ පලාවන් වූ මොනර පිලක් සදිසි වූවකි. විශේෂිත වූවකි. එය රැජිනකගේ මගුල් ඇඳුමෙහි මුව වැසුම පිණිසය.

එහෙත් සේකර වියන්නේ, හැන්දෑ අහසේ දිලිසෙන අනුරාගී වර්ණයෙන් හැඩ වැඩි දමමිනි.
සුවිශේෂ වන්නේ එය වියනු ලබන්නේ කුළුඳුල් දුවගේ ම විවාහය උදෙසාය.

ඒ අයුරින් නායිදු කිවිඳිය ගේ ත්‍රිපූද්ගල පෙනී සිටීම, සේකර අතින් ඒකීයත්වයට, එකම දුවකගේ බවට පත්වෙයි.

සන්නාලියනේ සන්නාලියනේ
සඳ එළියේ මැලවුණු මුහුණින්
වෙවුලන දෑතින්
කාටද සළුව වියන්නේ
කණකොක් තටුවේ සුදු මැලි පාටින්
සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ

නායිදු කිවිඳිය අවසන් සළුව වියන්නී, සීතල හඳපානේ සන්සුන් ලෙසිනි. එය මිනියක් වසන දළ රෙදි කඩකි. එහි පැහැය වළාවක, පිලක සුදු මැලි සුදය.

සේකර වියන අවසන් සළුව මියගිය ඇයගේ (කුළුඳුල් දුවගේ) මිනිය වසන්නට ය. වියනු ලබන්නේද සීතල සඳ එළියේ මැලවුණු මුහුණින් හා වෙව්ලන දෑතින් යුතුව ය. එහි පැහැය කණකොක් තටුවේ සුදු මැලි පැහැය යි.

උභයභාෂා ලංකාරය වඩාත් ප්‍රකටව යෙදුවා පමණක් නොව, සේකර ගේ අනුවර්තනය ,නායිදු කිවිඳියගේ කවිය, රස හරය ට ආදරය කරන සහෘද - රසික ප්‍රජාව වෙනුවෙන් ම පූර්ණතාවය පිරි නිමැවුමකි.

සරෝජිනී අධ්‍යාපනය ලැබුවේ මදුරාසි යුනිවසිටි විද්‍යාලයෙනි. පසුව ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් හා කේම්බ්‍රිජ්හි ගර්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. දරැවන් අට දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වූ ඇයගේ එක් සොහොයුරකු විප්ලවවාදී අදහස් දරුවකු වූ අතර තවත් සොහොයුරෙකු කවියකු, නාට්‍යකරුවකු හා නළුවකු විය.
මේ සියලු ගෝචර භූමියන් ඈ වෙත සියල්ල ළඟාකර දුන්නේය.ඇගේ අභිමතාර්ථ සහ ධෛර්යය මුදුන්පත් කරගැනීමය.

ඒ අනුව මහත්මා ගාන්ධි අනුගාමිකාවක වු ඇය ඔහුගේ ස්වරාජ්‍ය සංකල්පයට සහය දැක්වූවාය. අරගල භූමියට පිළිපන් වූවාය.

එංගලන්තයේ සිටි සමයේ ඡන්ද බලය සැමට ලැබිය යුතු බවට හඬක් නැගූ සරෝජිනී 1905 බෙංගාලය දෙකඩ වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීම සඳහා වූ ඉන්දීය ජාතික කොන්ග්‍රස් ව්‍යාපාරයට වෙත යොමු වූවාය. ඉන්දීය ජාතිකවාදී ව්‍යාපාරයේ සාමාජිකාවක ලෙසද, ඇය ගෝපාල් ක්‍රිෂ්ණා ගෝඛලේ, රබීන්ද්‍රනාත් තාගෝර්, මහත්මා ගාන්ධි වැනි නායකයින් සමඟ එක්ව යටත් විජිත පාලන තන්ත්‍රයෙන් සහ සමාජ ප්‍රතිසංස්කරණවලින් නිදහස ලබා ගැනීම සඳහා ක්‍රියා කළාය.

1915 සිට 1918 දක්වා කාලය තුළ සරෝජිනී නායිදු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සමාජ සුභසාධනය, කාන්තා විමුක්තිය සහ ජාතිකවාදය පිළිබඳ දේශන පැවැත්වූවාය. 1917 දී ඉන්දියානු කාන්තා සංගමය පිහිටුවීමට ද මූලික වූවාය.

ඉන්දියානු කාන්තා සංගමයේ සභාපතිනිය වූ ඇනී බෙසන්ට් සමඟ එක්සත් රාජධානියේ ලන්ඩන්හි ඒකාබද්ධ තේරීම් කමිටුව ඉදිරියේ කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය ලබා දීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.

සරෝජිනී නායිදු ළමා කාව්‍ය , දේශප්‍රේමය, මානව ප්‍රේමය සහ මානව ඛේදවාචක අළලා කාව්‍ය රුසක් රචනා කළාය.

1949 මාර්තු 2 දින සරෝජිනී නායිදු අප සැමගෙන් සමුගත්තාය. ඇගේ අළු ගෝමතී නදියේ පාකර හැරිණි.
මේ අසමසම ගැහැණිය තුළ සිටියේ විශිෂ්ටතා පිරුණු බොහෝ ගැහැණුන් ය. අතිවිශිෂ්ට බුද්ධි ප්‍රභාවක් ආලෝකයකි .
, ධෛර්ය සම්පන්න ගැහැණියකි. සටන්කාමිනියකි.
පුළුල් සංස්කෘතික සවිඥානික බව ඇති ගැහැණියක් .මේ සියල්ලෙහි ඈ සමන්විතය.

ඒ සියල්ලට වඩා මම ඇයට ආදරය තවරන්නේ සෘජු අවංක ප්‍රතිපත්ති ගරුක ගැහැණියක් වීම නිසාය. ඇය බොහෝ අවස්ථාවල මහත්මා ගාන්ධිගේ නොගැලපීම් විවේචනය කළාය.

සරෝජිනී නායිදු නම් මේ අසමසම ගැහැණිය හා සමාන වූවා නම් ඉන්දියාව ස්වර්ගයක් වන්නට ඉඩ තිබිණි. යැයි බ්‍රිතාන්‍ය ලේඛකයකු සහ දාර්ශනිකයෙකු වන ඇල්ඩස් හක්ස්ලි ඇය සමරමින් ලියා තිබිණි..

ඔබ මට ජීවිතයට මග කියන පහන් තරුවකිය...🌷

ආදරෙයි 🥰

✍ සම්මානී විජේසිංහ.

Tags

##Srilanka #mingirisNews #worldnews #news #sinhala #6.30

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬