ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය ‘ලෝක උරුම ලැයිස්තුවට‘ ගැනීමේ උත්සාහයක්
ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමේ පළමු පියවර පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කෙරේ.
Admin User
Author
වසර 150කට අධික කාලයක සිට පැවත එන ශ්‍රී ලංකේය තේ කර්මාන්තය ආශ්‍රිතව ඇති සංස්කෘතික භූ දර්ශනය ජීවමාන උරුම සහ වටිනාකම්වලින් පරිපූර්ණ කලාපයකි.
මෙම කලාපය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරගැනීමේ අරමුණින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය එක්ව කටයුතු කරමින් සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ පළමු පියවර වශයෙන් එය තාවකාලික නාමකරණ ලැයිස්තුවට ඇතුළත් කර ගැනීම සිදු කළ යුතු ය.
එලෙස යුනෙස්කෝ තාවකාලික නාමකරණ ලැයිස්තුවට ඇතුළත් කරගැනීම සඳහා සකස් කළ යෝජනාවලිය යුනෙස්කෝ ආයතනයට භාරදීමට නියමිත අතර එම යෝජනාවලිය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත භාර දීම අද (19) පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
තේ සංස්කෘතික භූ දර්ශනය පිළිබඳ පළමු අන්තර්ජාතික සමුළුව එළැඹෙන නොවැම්බර් මස 15 දින සිට 17 දින දක්වා නුවරඑළියේ දී පැවැත්වීමට නියමිත අතර එමඟින් ශ්‍රී ලංකා තේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ තාවකාලික ලැයිස්තුවට ඇතුළත් කරගැනීම සඳහා තීරණාත්මක ප්‍රවේශයක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.
මෙහි දී එම සමුළුවට අදාළ වෙබ් පිටුව දියත් කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. එස්. එම්.අස්ලම් සහ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය අතුල ඤාණපාල යන මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.