උප්සේන හේවගේ
ගුවන් විදුලියේදී මට හමුවූ අසිරිමත්ම චරිතයක් වුයේ, දයානන්ද ගුනවර්ධනයන්ය. මුදල් අංශයේ ශිල්පීන්ගේ ගෙවීම් කටයුතු භාර ලිපිකරුවෙකු වශයෙන් මුල් කාලයේදී කටයුතු කිරීම නිසා අප අතර ඇසුර...
Admin User
Author
ඔහු කොරිඩෝව දිගේ කොහේදෝ යමින් සිටියේය. මුලින් ඔහු මා දෙස බැලුවේ විශ්මයෙනි." තමුසෙත් නාට්‍ය ලියනවද? " මම ඔහු සමග ඉඳහිට විහිළු කරන නිසා ඔහු හිතුවේ එයත් විහිළුවක් කියා වන්නට පුළුවන.
"ඔව්.." මා මදක් පැකිලෙමින් කීවෙමි. "ඒකෙ නම "මෝඩයගෙ පාරාදීසය "
ගමන නැවතිණි. ඔහු කුතුහලයෙන් මෙන්ම සුපුරුදු විදියට කට අතින් වසා ගනිමින් හිනා වුනේය. "අර මෝඩයට මොකක් ද එකත් පාරාදීසයක් වගේ පේනවා කියනවනේ. තමුසෙත් එහෙම එකක් ලියලද දන්නේ නැහැ..කෝ ..කෝ ගේනව බලන්න.."
ඔහු නැති වෙලාවක් බලා මම නාට්‍ය පිටපත මේසය උඩ තබා ආවෙමි. දෙදිනක් ගත වීමට පෙර ඔහු මා සොයා ආවේය.
"අයිසෙ අරක හොඳ කතාවක් නෙ. අපි ලබන සුමානෙම ඒක කරමු."
එය ලියැවුණේ ඉෂාක් බසේවිස් සිංගර් නමැති යීඩිස් ජාතික ශ්‍රේෂ්ට ලේඛකයකුගේ කථාවක් ඇසුරිනි. සිහින ලෝකවල මහන්සියකින් තොරව ජිවත් වනවාට වඩා යථාර්තයට මුහුණ දෙමින් ගෙවන ජිවිතයේ වැදගත් කම කියාපාන එම කතාව ඔහුගේ ප්‍රතිභාපූර්ණ මෙහෙයුම යටතේ පටිගත වූ හෝරාව මගේ මතකයේ තවමත් රැඳී පවතී. ආධුනික මට නාට්‍ය නිෂ්පාදනය කරගෙන යන්නට ඉඩ හරිමින් අවශ්‍ය මොහොතේ අවසාන නිමාව අනර්ඝ එකක් කිරීම සඳහා සිය වෘත්තීය හා කලා නිපුණත්වය කාර්යක්ෂම ලෙස උපයෝගී කර ගත්තේය. අමතක නොවන සිද්ධියක් වූයේ, එහි පරිසර හඬවල් මැවීම සඳහා බල්ලෙකුගේ බීරිම අඩංගු වූ තැටිය ගෙන අඩු ධාවන වේගයකින් ධාවනය කරවීමට ඔහු යෙදූ උපක්‍රමයයි. . මෙය ඒ මොහොතේ අපට විකාර වැඩක් ලෙස දැනුනු නමුත් නාට්‍යය ප්‍රචාරය වනවිට ඒ හඬ සෙසු පරිසර හඬවල් සමග මැනවින් මුසුවී තිබුනේය.
මේ නාට්‍ය පිටපතින් පසු ඔහු හා මා සමග තිබු කලා ඇසුර තවත් ශක්තිමත් විය. මෙකල ඔහු නිෂ්පාදනය කරමින් සිටි නාට්‍ය වලට මාවත් සම්බන්ධ කර ගන්නට දෝ ඔහු මගෙන් මෙහෙම ප්‍රශ්නයක් ද ඇසුවේය."තමුසෙට සින්දු කියන්න පුළුවන්ද ?"
"අපෝ ඕන එකක් පුළුවන්. සින්දු නම් කියන්න බැහැ ..මම වහා කියා ඇඟ බේරා ගතිමි. ඒ කාලයේ දැන් මෙන් කතා ප්‍රයෝග ඉක්මනින් ඔළුවට නොඑයි. එහෙත් මම මාස තුනකට වරක් ස්වතන්ත්‍ර නාට්‍යයක් සුගතපාලද සිල්වාටත් පරිවර්තන නාට්‍යයක් දයානන්ද ගුණවර්ධනයනටත් අවුරුදු ගනනාවක් තිස්සේ රචනා කළෙමි. රටේ නැති වැඩ අස්සේ වුවද මම ඔහුගේ ඇතැම් නාට්‍ය වැඩ සටහන් නිශ්පාදනය කිරීමට සහය වුනෙමි. ඔහු මධුර ජවනිකා හා ආනන්ද ජවනිකා වල පුහුණු කටයුතු වෙනුවෙන් කාර්යය බහුල වනවිට ඔහුගේ ඇතැම් ගුවන් නාට්‍ය නිෂ්පාදන කටයුතු මට භාර දී ගිය අවස්ථාද ද තිබුණි.
මම ඔහුගේ නාට්‍ය වලට ඇලුම් කළ නමුත් ඒවායේ ගැටුමක් මතු පිටින් නැතිවීම මගේ කුහුල වඩ වන්නක් විය. "මිස්ටර් ගුණවර්ධන ,බර්නාඩ් ෂෝ කියල තියෙනවා නේද "No conflict ,No drama"(ගැටුමක් නැති තැන නාට්‍යයක් නැහැ " )කියල. ඔබතුමාගේ නාට්‍ය වල එහෙම ගැටුමක් හරියට පෙනෙන්න නැහැනේ. මම වරක් ඇසුවෙමි.
ඔහු එවිට මෙසේ කිවේය. "මෙහෙමයි, මතුපිටින් නොපෙනුනාට මගේ නාට්‍ය වල ගැටුම් තියෙන්නෙ ඒ ඒ ජවනිකා ඇතුලෙයි.."
ඔහුගේ නාට්‍ය සම්ප්‍රදාය පොහොසත් වූයේ ඒ පිළිබද කරන පර්යේෂණ හා ඇසුරු කරන ග්‍රන්ථ වලින් මෙන්ම නාට්‍ය හා රංග කලාව පිලිබඳ චෙකොලෝවැකියාව, බල්ගේරියාව පමණක් නොව මහා බ්‍රිතාන්‍යයේ කරන ලද විවිධ හැදැරීම් තුලිනි. මේ පිලිබඳ එක උදාහරණයක් මට හොඳින් මතක තිබේ. මම අධ්‍යා පන සේවයේ රාජකාරි කටයුතු කරන විට එහා කොනේ තිබෙන පුස්තකාලයට යමින් එමින් සිටින ඔහු එදින කෙලින්ම අපේ කාර්යාලය තුලට ආවේ වෘත්තීය සගයකු වූ මාවුස්ගොසා ල්ලයන් හමුවිමටය. ඔහු අසුනේ හිටියේ නැත. මුහුද ගොඩ ගැලීමේ සිද්ධියට තුඩු දුන් කැලණියේ තෙල් කටාරමේ දැමූ රහතුන් වහන්සේ අපවත් වෙද්දී කියූ ගාථා මාලාවක් පිලිබඳ විස්තර මාවුස්සාගොල්ලට හමුවී ඇත. ගුනවර්ධනයන් පැමිණියේ ඔහු එය ගෙනවාදැයි විමසීමටය.
අප විසින් මිත්‍යා සහගත දේවල් යැයි තර්ක අවියෙන් හෝ යමක් කමක් උඩින් අත පත ගා ලත් දැනුමින් විනිශ්චය කරන පුරුද්දෙන් ඔහු ඉඳුරා බැහැර විය. ඔහු සිංහල බෞද්ධ චින්තනය අපේ උරුමය මෙන් හදවතින් ගත්තේය. මගේ හැඟීම අනුව ආනන්ද ජවනිකා හා මධුර ජවනිකා මගින් නාට්‍යනුසාරයෙන් ආවේ ඔහුගේ ඒ හරහා උපන් ඔහුගේ හැඟීම් ධාරාවයි. මෙය ඔහුගේ වෘත්තීය සගයා වූ සුගතපාලද සිල්වාගේ නාට්‍යය කලාව මගින් සමාජ යථාර්තය සොයා යාමට වෙනස් මගක් ගත්තකි. එහෙත් ඔහුගේ මධුරමය මනස්කාන්ත ජවනිකා හරහා සිංහල සමාජයේ දුබලතා කෙරෙහි ඇති කරන සියුම් උපහාසය සුගතපාල සිල්වා නාට්‍ය මගින් ඇති කරන සමාජ යතාර්ථය තරමටම ප්‍රබලය. අපි තවමත් මහා ඉහලින් අතේ බැඳ ගන්නා, සිංහල සංස්කෘතික අංගයක් තරමටම මුල් බැසගෙන ඇති පිරිත් නූල පාහියන් හිමියන් විසින් චීනයේ සිට මෙරට බුදු දහමට එක කරන ලද එකක් බව ඔහු මධුර ජවනිකා වලදී කීම එක උදාහරණයකි.
මීටත් වඩා මතක හිටින අදහසක් ඔහු පල කළේ ආර්.ප්‍රේමදාස සමයේ යාපනයට ඉන්දියාවෙන් ගුවන් මගින් පරිප්පු හෙලීමෙන් අපේ ගුවන් සීමාව ආක්‍රමණය කල සමයේදීය. ඔහු උපහාසයෙන් පැවසුවේ ඉන්දියාව මුලින්ම අපේ ගුවන් සීමාව මුලින්ම ආක්‍රමණය කළේ ඉන්දියාවේ සිට අහසින් වැඩි මිහිදු මහ රහතන් වහන්සේ වැඩම කිරීමෙන් බවය.
ඔහුගේ ජසයා හා ලෙන්චිනා, නරි බෑනා වැනි ගැමි නාටක වලට පාදක වූ ගැමි නාට්‍ය කලාව ඉතා ගැඹුරින් හදාරා තිබුනා පමණක් නොව ඇතැම් අංග පිටුපස තිබුණු මනෝ සත්කාර හා මනෝමය ඇනවුම් ගැන හොඳ අවබෝධයකින් සිටියේය. "බලන්න ඔය දරු පල ඇති කරන්න කරන තොවිල් වලදී කපුවා අතපය හොලවල නටන විදිය. ඒ තුලින් අර වගේ වඳයි කියල හිතාගෙන හිතපු ගැහැණු ප්‍රබෝධමත් වෙනවා. බෙහෙත් හේත් වලින් කරන ප්‍රතිකාරය හා සමානයි ඒවා..." ඔහු කීවේය.
ඔහු තම නළු කිර්ති සභාවේ නළු නිළියනට අප්‍රමාණ ආදරයක් හා කැපවීමක් දැක්විය. ඔහුගේ හදවත බෙහෙවින් සංවේදී එකක් විය. එහෙත් වරද දුටු විට සමාව නුදුන්නේය. වරෙක ඔහු කළ නාට්‍යයක ගීත ඔහුගේ අවසරයකින් තොරව පිට ආයතනයකට ගොස් වීඩියෝ කොට විකුණූ සිද්ධියක් නිසා එයට සම්බන්ධ වූ නළු නිලි කැලම අයින් කොට දැමුවේය. මොවුන් සියලු දෙනාම ප්‍රසිද්ධ වේදිකා නළු නිලියෝ වූහ. පුවත පත් වල පවා මේ සිද්ධිය ප්‍රචාරය වුවත් මම මේ ගැන ඔහුගෙන් තතු විමසන්නට නොගියෙමි. " මට නං දුකත් හිතුන අර නිළිය(නම සඳහන් නොකරමි) ඇවිත් අඬල සමාව ඉල්ලුව.ඒත් මම තීරණය අරන් ඉවරයි.."
එහෙත් මගේ එක් ගුවන් විදුලි රඟ මඩලකදී ඔහුගේ ස්ථාවරය මදකින් වෙනස් විය. නාට්‍ය ශිල්පී ලැයිස්තුවේ මේ නළුවන් දෙදෙනෙකුගේ නම් තිබෙන බව ඔහු සොයා ගත්තේය. " කමක් නැහැ ඒ දෙන්නත් ගෙන්නන්න මේ පාර.."
"ඔවුන් දෙදෙනා පැමිණ පටිගත කිරීමට සහභාගී වූ නමුත් ගුණවර්ධන මහතා පසෙකට වී සියල්ල බලා සිටියා පමණි. සියලු කටයුතු මෙහෙයවීමට සිදුවූයේ මටය. පටිගත කිරීම ප්‍රශ්නයකින් තොරව නිමැවිණි. ඉන්පසු කැන්ටිමට ගොස් තේ බිමට ආරාධනාවකි. එහෙත් ගැටලුවකි. ඔහු ඔවුන් සමග එක්ව තේ එකක් වත් බීම ප්‍රතික්ෂේප කළේය. අවසානයේ මට සිදුවුයේ මේස දෙකටම වරින් වර ගොස් කතා කොට ආප්ප කා තේ බී මය.
නාට්‍ය කරුවකු, පර්යේෂණ හරහා නිර්මානාත්මක ලේඛණයේ යෙදුනකු, දේශීය සංස්කෘතිය සිය අද්විතීය නිර්මාණ හරහා රටට දායාද කළ අයෙකු වශයෙන් ඔහු ජනී ජනයාගේ ආදර ගෞරවයට පාත්‍ර විය. ඒ සඳහා ඔහුට ජනාධිපති සම්මාන පවා හිමිවිය. ගුවන් විදුලියේ හැම දෙනෙකුම ඔහුට ගරු කළහ. එහෙත් සෙසු කලාකරුවන්ට මෙන් පාලනාධිකාරයේ ඔහුට ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය. විශ්‍රාම යන වයසේදී ඔහුට ඉංග්‍රීසි සේවා අධ්‍යක්ෂ ධුරය ආවරණය කරන තනතුර පිරිනමා තිබුන නමුත් පසුව දැන ගන්නට ලැබුනේ ඔහුට ඒ සඳහා වන වැටුප ද ගෙවා නොමැති බවය.
සුගතපාලද සිල්වා මෙන්ම ඔහුද ඇවිදින විශ්ව විද්‍යාලයක් බඳු බුද්ධිමතෙකි. එක් වරකට මට හැඟෙන්නේ මම ඒ විශ්ව විද්‍යාලයෙන් කැලේ පැන ගුවන් විදුලියේ වෙනත් ඉසව් සොයා ගිය එකෙකු හැටියටය. එයින් මගේ සිතිජය පුළුල් වුවත් මේ කැලෑ පැනීමෙන් මග හැරුණු කලාව හා සංස්කෘතිය හරහා කල යුතුව තිබූ නිර්මාණය කරණය සඳහා වන ගැඹුරු හැදෑරීම මා අතින් මග හැරී ගියේය. එයින් වුනු හානිය මුදල් වලින් මිනිය නොහැකිය.
වසර දෙක තුනකට වරක් මව් රටට පැමිණ ගුවන් විදුලියට ගොඩ වැදී සිංහල අංශයට යන විට එදා ඔහු සිටි මේසය තිබුණු ඉසව්ව දෙස මම නිකමට බලමි. ඔහුගේ මේසය එහි කොහේ හෝ මුල්ලක තවමත් තිබීමට පුළුවන. එහි පැත්තක තබා තිබුණු කාර්යාලය බෑගය මට තවමත් හොඳට මතකය. ඔහු කෙසේ හෝ එහි උණු වතුර බෝතලයක් රිංග වා තේ ගෙන එයි. අපි එය අසල හිඳ අනම් මනම් කතා කරන ගමන් ම නාට්‍ය කරණයට යන විය හියදම් ගැන මාතෘකාව ද එලියට එයි. ඔහු ඇතැම් විට ඒ සඳහා වියදම් පිරිමසා ගත්තේ සංස්ථාවේ ආපදා නය මුදල ගැනීමෙනි. "මිස්ටර් ගුණවර්ධන පොහොසත් කෙනෙක් නේ.." මම විහිළුවට කියමි. " ඔය මුදල දරන්න අමාරු වෙන්නෙ කොහොමද? "I am only rich by heart.." ඔහු සුපුරුදු පරිදි ඉංග්‍රීසියෙන් කියා වහා සිංහලට මාරු වෙයි. "තමුසෙට තල ගුලියක් ඕනිද? " ඔහු බෑගය ඇද තල කැරලි පාර්සලයක් මේසය උඩ තබයි. තේ එකකුත් වක් කරන්නද ? ඔහු උණු වතුර බෝතලය අතට ගනියි. " එපා " මම ඔහුව වළක්වමි. මම ආපහු යනකොට කැන්ටිමෙන් බොන්නම්..."
එදා ඔහු මධුර ජවනිකා අවසානයේදී නළු කැල වේදිකාවට පැමිණි මොහොතේ දී සිහිසුන්ව රෝහල් ගත කළ පුවත අපට ද සැලවිය. දින දෙකකට පසු මම නිමල් සෝවිස් කැටුව ඔහු රඳවා සිටි බණ්ඩාරනායක වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයට ගියෙමු. අපට ඔහු බැලීමට හැකිවූයේ වීදුරු ජනේලය තුලින් පමණකි. දුහුවිලි වැකුණු කලබලකාරී නගරයෙන් හිරු සෙමෙන් සෙමෙන් බැස යමින් තිබුනේය. එහෙත් ඔහුගේ සුපුරුදු මදහස සිහිසුන් වූ මුහුණ මත නොවෙනස්ව රැඳී තිබුණි.