වික්ටර් රත්නායක
“ඔන්න ඉතින් මාත් පස්වෙනි මැදිරියට වෙලා වික්ටර් එනකන් බලන් හිටියා. එතකොට මං එකම ගීතයක් වත් ගයා තිබුණේ නැහැ. මම පටිගතකිරීම් යන්ත්‍රය ළඟ මයික්‍රෆෝන් හතරකුත් ලෑස්ති කරගෙන බලා හිටියා...
Admin User
Author
වික්ටර් රත්නායකයන් ගුවන්විදුලියේ පටිගත කිරීම් වෙනුවෙන් පැමිණියේ මෙවන් වටපිටාවකදීය.
අමරදේවයන් සිංහල සංගීතයට ස්වතන්ත්‍ර වේදිකාවක් සකස් කළේය. එහෙත් ඒ ගීත නාද කාව්‍යයන් හැටියට අගය කිරීමේදී කිසියම් පසුබෑමක් ඇතිවේ. එහෙත් වික්ටර් මෙහිදී ගීතයේ නිම්වළලු පුළුල් කිරීමට ඉමහත් සේ දායක විය.සිය ප්‍රථම සරළ ගීත වැඩසටහ නිෂ්පාදනය වුන කාල වකවානුව තුළ ගුවන්විදුලියේ තිබූ උක්ත නැඹුරු තාවයන්ගේ සීමා මායිම් සුණුවිසුනු කර දමමින් බටහිර සම්භාව්‍ය සංගීතයෙහි එන ස්වර සංවාදන (HARMONY),ප්‍රතිසංවාදන (COUNTER POINTS) හා සමූහ වාදන (ORCHESTRIAL MUSIC) යන සංගීත රීතීන් හා ශිල්ප ක්‍රම උපයෝගී කරගනිමින් සිය ප්‍රථම සරළ ගීත තුන(සිඳැ බිඳැ මොහඳුරු පාප ක්‍රියා, ඈත පෙනෙනා හිමව් කඳු මත, ගොළු මුහුදේ මුතු ඇටේ) නිර්මාණය කළේය.මෙය ශ්‍රීලාංකික සංගීතඥයකු විසින් එකී ශිල්ප ක්‍රම යොදාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගතවන අතර, ඒ හරහා,සිංහල සරළ ගීතය නව ආස්ථානයකට ඔසවා තැබීමට වික්ටර් සමත් විය.
හැටේ දශකයේ මැද භාගයේදී වික්ටර් ආරම්භ කළ මෙම සංගීතයේ නව ආර කේන්ද්‍ර කරගනිමින් “වික්ටර් රත්නායක” නැමැති සංගීත සලකුණ බිහිවිය. ඔහුගේ සංගීතය තුළ වූ මෙම නව සංගීත ආර වෙත ඇදී ආ, එවකට ශ්‍රේණිගත වූ ප්‍රවීණ හා නවක සියලුම ශිල්පි ශිල්පිනීන් වික්ටර්ගෙන් ගී තනු නිර්මාණය කරගත් බව පැවසිය යුතු ප්‍රධාන කරුණකි.
සිංහල ගීතයේ හැඩතල වෙනස් කරමින්, ගුවන්විදුලියේ එතෙක් තහනම් භාණ්ඩ හැටියට හංවඩු ගසා තිබූ DRUMS, ඕබෝ, බැසූන්,සැක්සෆෝන්, චෙලෝ, ක්ලැරිනට්, ට්‍රුම්පට්, ඩබල් බේස්, කොරැන්ගලී වැනි බටහිරට ලියා දී තිබූ සංගීත භාණ්ඩ රැසක් ගුවන්විදුලියට කැඳවාගෙන ඒමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේ වික්ටර් රත්නායකයන්ය.
මෙසේ තහනම් සංගීත භාණ්ඩ පෙරහැරක් ගුවන්විදුලියට වැඩමවූ දිනයක පටිගත කිරීම් ශිල්පියා හැටියට කටයුතු කළේ නැසීගිය ශිල්පී ගුණදාස කපුගේය. ඒ සිදුවීම කපුගේ පවසා ඇත්තේ මෙසේය.
“ඔන්න ඉතින් මාත් පස්වෙනි මැදිරියට වෙලා වික්ටර් එනකන් බලන් හිටියා. එතකොට මං එකම ගීතයක් වත් ගයා තිබුණේ නැහැ. මම පටිගතකිරීම් යන්ත්‍රය ළඟ මයික්‍රෆෝන් හතරකුත් ලෑස්ති කරගෙන බලා හිටියා. ඔන්න වික්ටර් ආවා....එකායි, දෙකායි, තුනායි, හතරායි...අන්තිමේදී වික්ටර් සමඟ පස්වෙනි මැදිරියට ඇතුළුවුනු වාද්‍යවෘන්දය විසි දෙදෙනෙක්. මට භාගෙට පිස්සු හැදුණා...එවන් ශිල්පීන් පිරිසක් සමඟ මයික්‍රොෆෝන් හතරක් තියාගෙන මම මොනවා කරන්නද? ඒ කාලේ ගුවන්විදුලියේ හිටියා රංජිත් එදිරිසිංහ කියලා ශබ්ද ඉංජිනේරුවරයෙක්. මම ඔහුගේ පිහිට පැතුවා මේ අකරතැබ්බයෙන් මා ගලවා ගන්න කියා. රංජිත් වහාම අසළ තිබූ මැදිරි වලින් තවත් මයික්‍රෆෝන් හත අටක් යොදාගෙන වෙනත් මැදිරියක තිබූ අමතර මික්සිo යන්ත්‍රයක් එයට ඈඳා විශාල පටිගත කිරීම් ශබ්දාගාරයක් නිර්මාණය කළා ඒ මොහොතේම. දන්නවද එදා පටිගත කළ සින්දුව මොකද්ද කියලා... “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී”...ඒ තරම් චකිතයකින් ටෙන්ෂන් එකකින් මං කවදාවත් රේකොඩින් එකක් කරලා නෑ. ඒ වුනාට අපි එදා පුදුම වින්දනයක් ලැබුවා ඒ රේකොඩින් එකෙන්.....”
වික්ටර් රත්නායකයන් බටහිර සම්භාව්‍ය සංගීතය වෙතම නැඹුරුවූ සංගීතඥයකු නොවන බව ඔහු සිය සරළ ගීත වැඩසටහන් සඳහා උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන, එමෙන්ම ගී තනුව(vocal melody) සඳහා භාවිතා කරන මීන්ඩ්( MEEND), ගමක්, කන් හා ආන්දෝලන් යන ශිල්ප ක්‍රමද සිය වාද්‍ය වෘන්දය සඳහා GAZETH, ජම් ජමාම් (ZAM ZAMAM),ක්‍රින්තන් යන ශිල්ප ක්‍රමයන්ද යොදාගැනීමෙන් පෙනීයයි.
ඉහතින් ගුණදාස කපුගේ මහතාණන් සඳහන් කළ “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී “ නම් ගීතය පටිගත කිරීමේදී , එහි පැමිණි වාද්‍ය වෘන්දය වෙත ඉඩ සැලසීමට සිදුවූ නිසා ශබ්දාගාර දෙකක් මැද වූ වෙන් කිරීම (PARTITION) ඉවත්කොට එක් ශබ්දාගාරයක් නිර්මාණය කිරීම ගුවන්විදුලි ඉතිහාසයේ පළමු හා එකම සිදුවීමයි.
මෙසේ වැඩිම වාද්‍ය වෘන්දයක් යොදා ගීතයක් පටිගතකළ පළමුවැන්නා වීමේ භාග්‍යය වික්ටර් හිමිකර ගත්තා සේම අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් එනම්, ඩොලැක්කිය හා හාර්මෝනියම් පමණක් යොදාගෙන ගීතයක් නිර්මාණය කළ පළමුවැන්නා වන්නේද වික්ටර්ය. එසේ නිර්මාණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත “පොඩි කුමාරිහාමියේ” නම් ගීයයි.
එමෙන්ම ගී තැටිය ධාවනය වන වේග දෙකක් ඇති අතර එම වේග දෙකම උපයෝගී කර ගනිමින් ගුවන්විදුලි ගීත සාහිත්‍යය තුළ ප්‍රථම වරට ගීතයක් නිර්මාණය කිරීමේ භාග්‍යය හිමිවන්නේද වික්ටර් ටමය. චිප්මන්ග්ස් නැමැති එම ශිල්ප ක්‍රමය මින් පෙර සරළ සංගීතය තුළ කිසිම ශිල්පියෙකු යොදාගෙන නොමැති අතර වික්ටර් ගේ මෙම භාවිතයෙන් පසු එම ක්‍රමයට වෙනත් ශිල්පීන්ගේ ගීත කිහිපයක් නිර්මාණය විය. මෙම ශිල්ප ක්‍රමය යොදා ගෙන වික්ටර් නිර්මාණය කළ ගීතය වන්නේ “පුංචි හාමු” නැමැති ගුවන්විදුලියේ වාරණයට ලක්වූ ගීතයයි. අද මෙන් නොව තාක්ෂනය අවම භාවිතයක් තිබූ එවන් අවධියක තාක්ෂණ ශිල්පීන් පවා විශ්මයට පත් කරමින් එම ගීතයේ පටිගත කිරීම සිදුකළේ රංජිත් එදිරිසිංහ නම් වූ තාක්ෂණ ශිල්පියාණන්ය.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද පුද්ගල උඩු සිත සහ යටිසිත අතර ඇතිවන සංවාදයක් වෙනුවෙන් වික්ටර් තවත් ශිල්ප ක්‍රමයක් ප්‍රථම වරට භාවිතා කරන ලදී. ඒ “මාලිනියේ” නැමැති ගීතය සඳහාය. ඒ SOUND ON SOUND (හඬක් මත තවත් හඬක්) නැමැති තාක්ෂනය භාවිතා කළ ප්‍රථම අවස්ථාවයි.
ශ්‍රී ලාංකික ගී තනු සලකා බැලීමේදී අපට පෙනීයන්නේ උත්තර භාරතීය සංගීතය හෝ බටහිර සංගීතය ඇසුරු කරගත් තනු නිර්මාණයි. නමුත් වික්ටර් එම ඉහත කියන ලද සම්ප්‍රදායන් දෙකට අමතරව දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතයද සිය ගී තනු නිර්මාණකරණයේදී ඉතා සුගම ලෙස යොදා ගන්නා ලදී.
කොට්ට කෙලෙන්ගෙයි තම්බාලා
මීන නුවන් යුගින් බලන්
කුන්ඩුමනී
මෙසේ සරළ ගීය සඳහා මෙන්ම චිත්‍රපට සංගීතය සඳහාද ප්‍රථම වරට දක්ෂිණ භාරතීය කර්ණාට සංගීතයේ ආභාෂය ලැබුවේ වික්ටර්ය. උදාහරණයක් ලෙස සරුංගලය හා තවලම යන චිත්‍රපට යුගලයේ සංගීත භාවිත විමසා බලන්න.
ප්‍රේමගීත මෙන්ම දේශාභිමානී ගීත රාශියක් නිර්මාණය කොට ඇති වික්ටර් අතින් නිමැවුණු බොදු ගී සංඛ්‍යාව අති මහත්ය. එහිදී ඔහු විසින් පිරිත් හා ගාථා වල එන නාද මාලාවන්ද තුන්සරණේ කවිද සියුම් ලෙස රාගධාරී සංගීතයේ නාද මාලාවන්ද ඇසුරු කොට ඇතිබව නොරහසකි.
උපතින් බෞද්ධයකු වුවත් වික්ටර් සිය ගී තනු නිර්මාණය කිරීමේදී බොහෝ විට කතෝලික පල්ලි ආශ්‍රිතව ඇසෙන ගීතිකා සඳහා යොදා ගන්නා සමූහ ගායනා (chorus singing) සිය නිර්මාණයන් සඳහා යොදා ගත් අවස්ථා මෙන්ම ගැමි සංගීත නාද මාලාද ඇසුරුකොට ඇත. ඒ අනුව වික්ටර් උක්ත නාදමාලා උපයෝගී කොටගෙන කිතුනු ගී කිහිපයක්ද තනා ගයා ඇත.
මෙසේ නව අතහදා බැලීම් යොදා ගනිමින් විශ්වවිද්‍යාලයක් බඳු වූ සංගීතඥයකු වුවද, වික්ටර් කලා ශිල්පියෙකු ලෙස නිහතමානී ගුණයෙන් පිරිපුන්ව සිටින බව ඉඳුරාම පැවසිය යුතුයි.
නිහතමානීකම මෙන්ම කලාකරුවකුට අත්‍යන්තයෙන්ම තිබිය යුතු අභිමානය මුසු සියුම් ආඩම්බරයක් වික්ටර් සතුය. මේ නිසාම ඔහු “සොඳුරු හිතුවක්කාරයෙකි”.
මෙරට සිංහල සරළ ගීතයේ හැඩතල උඩු යටිකුරු මේ පුරෝගාමී මෙහෙවරට නායකත්වය දුන් වික්ටර් නොවන්නට සිංහල සරළ ගීතය තවමත් සම්ප්‍රදායික නිම්වළලු තුළ සිරවී කණගාටුදායක ඉරණමකට ගොදුරුවනවා නිසැකය. ඒකාන්තය. www.victorrathnayake.lk
_ගාමීනී වැන්දකෝන්_